Pro food – Pro pack Ag Biz - 2024 ප්‍රදර්ශනය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙයි.

Pro food – Pro pack Ag Biz ප්‍රදර්ශනය 21ක් වන වරටත් අති සාර්ථක අයුරින් 2024 අගෝස්තු 23 සිට 25 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කිරීම පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සිදුවිය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

ආහාර කර්මාන්තයට අදාල නිෂ්පාදකයින්, ව්‍යවසායකයින්, නවෝත්පාදකයින් මෙන්ම ආහාර විද්‍යා උපාධිධාරින් සියලු දෙනා එක්තැන් වන මෙම ප්‍රදර්ශනයේදී දැනුම හුවමාරු කර ගැනීම, තාක්ෂණික නවෝත්පාදන ඉදිරිපත් කිරීම මෙන්ම වෙළඳපළ සඳහා අවස්ථා උදාකර දීම සිදුකරනු ලබයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ප්‍රවර්ධනයටද අවස්ථාව උදා වීම මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වයකි.

සාර්ථක ප්‍රදර්ශන 20 ක් අවසන් කළ මෙම Pro food – Pro pack Ag Biz ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේල සේවා පෞද්ගලික සමාගම, කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබයි.

පසුගියදා පැවැති මෙම උත්සවයේදී පසුගිය වසරේ පැවැත් වූ 20 වන ප්‍රදර්ශනයේදී අංශ 14 ක් යටතේ තෝරාගත් ප්‍රදර්ශකයින් හට සම්මාන ප්‍රදානය කිරීමද සිදුවිය. එසේම එම වසරේ ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අනුග්‍රාහක ආයතන ඇගයීමද මෙම වසරේ ප්‍රදර්ශණය සඳහා අනුග්‍රහය දක්වන ආයතන වල අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීමද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමයේ සභාපති ඩෙලානෝ ඩයස්, ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේල සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන්, ආහාර කර්මාන්තයට අදාල ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.