හැඳින්වීම

කම්කරු, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය වශයෙන් ලංකාවේ ප්‍රථම අමාත්‍යාංශ කිහිපයෙන් එකක් ලෙස 1931 වර්ෂයේ දී පිහිටවනු ලැබූ මෙම අමාත්‍යාංශය කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනහිලා මූලික වගකීම දරනු ලබයි. අංක 2196/27 හා 2020.10.06 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව ‘කර්මාන්ත විවිධාංගිකරණයක් හරහා දේශීය, කලාපීය හා ජාත්‍යාන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් ගෝලීය තරඟකාරීත්වය තුළ සාපේක්ෂ ලාභයන් වෙත ළඟාවීම  සඳහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නවීන ක්‍රමෝපායන් හරහා ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය’ කර්මාන්ත අමාත්‍යාංශයේ වර්තමාන විෂයපථය වේ.

රාජ්‍ය අමාත්‍යංශ තුනක් ද විවිධ ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 17ක් ද කර්මාන්ත අමාත්‍යාංශය මඟින් හසුරුවනු ලැබේ. තවද, 1969 අංක 36 දරන කර්මාන්ත සංවර්ධන පනත, 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත හා 2006 අංක 17 දරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙම අමාත්‍යංශය සතුවේ.

මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා වශයෙන් පහත කරුණු හඳුනා ගෙන ඇත

  • කර්මාන්තකරුවක් මුහුණ දෙන ගැටළු සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීම
  • ආනයන අපනයන ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කර ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම
  • අපනයන ආශ්‍රිත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යපෘති සම්පාදනය
  • පවත්නා කර්මාන්ත ආර්ථිකව ශක්තිමත් කිරීම හා නව කර්මාන්ත ප්‍රවේශ ඇති කිරීම
  • බිඳවැටී ඇති කර්මාන්ත හා ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යපෘති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
  • දේශීය ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම
  • එරාවුර්හි ආරම්භ කිරීමට නියමිත කර්මාන්තපුරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම
  • ඛනිජ සම්පත් ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම.

දැක්ම

ගෝලීයව තරඟකාරී, තිරසාර සහ සුවිශේෂී ශ්‍රී ලාංකීය නිෂ්පාදන කර්මාන්ත අංශයක්

මෙහෙවර

තාක්ෂණය, දැනුම සහ නවෝත්පාදන චින්තනය මත පදනම් වූ හිතකර පරිසරයක් නිර්මාණය තුලින් විවිධාංගීකරණය වූ, ඉහළ අගය එකතු කළ, නව්‍ය කාර්මික නිෂ්පාදන, පරිසර හිතකාමී සුපිළිපන් ක්‍රමවේදයන් භාවිතය දිරිගැන්වීම, ඉහළ වෙළෙඳපල ප්‍රවේශ අවස්ථා සහ සැමට ප්‍රතිලාභ ලැබෙන කාර්මික සංවර්ධනයක් තහවුරු කිරීම.