Micro ආයතනයේ නවතම මෝටර් රථය වෙළෙඳපොළට හදුන්වා දෙයි.

වසර 138ක ඉතිහාසයක් සහිත ලොව ප්‍රවාහන කේෂ්ත්‍රයෙහි විශාල කාර්යභාරයක් ඉටු කරන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයෙහි පරිණාමීය වෙනසක් සනිටුහන් කරමින් මෙරට තුළ දශක 2 කට අධික කීර්තිමත් ඉතිහාසයක් ඇති Micro Holdings Ltd ආයතනය TIGGO4 PRO SUV – 2024 නම් වූ සිය අති නවීන මෝටර් රථය වෙළද පොළට හදුන්වා දීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 05 දින එම ආයතනයෙහි ප්‍රධාන ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි.

1995 වර්ෂයේදී ආරම්භ කොට 1999 වර්ෂයේදී ශ්‍රී ලාංකීක මෝටර් රථ සමාගමක් ලෙස Micro ආයතනය වාහන එකලස් කිරීමේ නිෂ්පාදන බලපත්‍රය ලබා ගනිමින් ලාභදායී මෝටර් රථ කර්මාන්තයක් ලෙස මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය හැරවුම් ලක්ෂයක් කරා ගමන් කරවීමට සමත්විය. එහිම දිගුවක් ලෙස වෙළදපොළ සදහා CKD තත්වයෙන් දේශීයව එකලස් කරන ලද අතී නවීන මෙම මෝටර් රථය පාරිභෝගීකයා සදහා සාධාරණ මිලකට අද සිට ලබා ගැනීමට හැකියාව Micro ආයතනය විසින් උදාකොට දී තිබෙයි.

නවතම මෝටර් රථය හදුන්වා දීමේ උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ලංකාව තුළ පැවති පසුගිය ආර්ථික අර්බුදකාරී අසීරු කාලසීමා පසු කරමින් ව්‍යවසායකයින් , නිෂ්පාදකයන් මෙවන් ජයග්‍රහණ කරා ගමන් කිරීම ඇත්තටම අගය කළ යුත්තක් බවත්, එම අභියෝග ජය ගනිමින් ලෝකය සමග ඉදිරියට යාමට මෙවන් නිෂ්පාදන ඉතා හොද අවස්ථාවක් වන බවත්‍ ය. එමෙන්ම හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ හිටපු අමාත්‍යාංශය ලේකම් දයා රත්නායක මහතාගේ මගපෙන්වීම අනුව ආරම්භ වු මෙම වාහන එකලස් කිරීමේ කාර්යාවලිය අද වන විට සාර්ථක ගමනක් යමින් තිබෙන බවත් රට තුළ ඇති ආර්ථික දේශපාලන අභියෝග ජය ගනිමින් තව දුරටත් මෙම නිෂ්පාදන සාර්ථක කර ගැනීමට රජයක් වශයෙන් උපරිම සහයෝගය ලබා දෙන බවත් වැඩි දුරටත් අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම Micro මෝටර් රථ ආයතනයෙහි සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා කියා සිටියේ තමන්ගේ ආයතනයෙහි සියළුදෙනාගේ කැපවීම පමණක් නොව කර්මාන්ත අමාත්‍යාංශය නොසිටින්නට මෙම නිෂ්පාදනය අද මෙලෙස එළි දක්වන්නට හැකි නොවන බවත් , මෙරට ආර්ථික අභියෝග ජය ගැනීම උදෙසා සෑම විටම කර්මාන්ත අමාත්‍යාංශයෙන් ලැබු ඒ දිරි ගැන්වීම සහ සහයෝගය අගය කර සිටින බවත්ය. එමෙන්ම ආසියාවේ ප්‍රථමවරට වසර 10ක එන්ජිම සදහා වන වගකීමක් ද වසර 5ක මෝටර් රථය සදහා වන වගකීමකින්ද සමන්විත මෙම මෝටර් රථය ආරක්ෂිත බැලුම් 6කින් යුක්ත වන බැවින් පාරිභෝගික ආරක්ෂාව සහ සුව පහසුව මැනවින් සපුරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් ජී. පි. එන් මහේෂ් අබේසේකර, අධ්‍යක්ෂ පි නාමගල් ඇතුළු නිළධාරින් , Micro මෝටර් රථ ආයතනයෙහි අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව, විවිධ මුල්‍ය බැංකු, රක්ෂන සමාගම් සහ ලීසිං ආයතන නියෝජන කරමින් නිළධාරින් ප්‍රමුඛ සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.