Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ...

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත එතුමන්ගේ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සැප්තැම්බර් 03 දින ආරම්භ කෙරිණි.

උතුරු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් උතුරු පළාත් ජනතාවට අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි. මෙම ප්‍රදර්ශන භූමිය තුළ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ප්‍රදර්ශන කුටි 300ක් අන්තර්ගතවෙයි.

එහීදී අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සදහන් කළේ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අනෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙලෙස උතුරු පළාත තුළ කර්මාන්ත ප්‍රදර්ශනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් , රජයක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු වෙනුවෙන් විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම උතුරු පළාතේ ජනතාවට විශේෂව ඇති අන්තර්ජාතික සබදතා, සම්පත් සහ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් උදෙසා ඔවුන්ව යොමු කිරීමට රජය සහය ලබා දිය යුතු බවත් ණය නොවන අනාගතයක් උදෙසා රට මෙහෙය වීම වර්තමාන රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් අම්බලවනර් සිවබාලසුන්දරන්, ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ලංකා අශෝක ලේලන්ඩ් සභාපති චානක ලෙශාන් ද සිල්වා, කහටගහ ග්‍රැෆයිට් ලංකා සභාපති තුසිර මලවතන්ත්‍රි , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා , කෝපායි ප්‍රාදේශීය ලේකම් සුභාගිනි මතියලගන්, චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් උශා සුභලින්ගම්,කරාවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් ඊස්වරනන්තන් තයාපරන් ඇතුළු රාජ්‍ය නිළධාරින් , ගුඩ් ගිෆ්ට් ප්‍රොපටි ඩිවලපර්ස් ආයතනයේ ප්‍රධානි එස් . අනුරාජ් ඇතුළු ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් රැසක් එක්ව සිටියහ.