" GOLDEN INMEDIENS - 2023 " ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල පැවැත්වේ..

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇගයීමේ “Golden Inmediens – 2023” ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් මාර්තු 19 දින පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පවත්වනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ වර්තමානයේ අපට තිබෙන ප්‍රධාන අභීයෝග දෙකක් වන බවත්, විශිෂ්ට වෛද්‍යකර්ම වලින් රෝගීන් ලබන සහනය බටහිර ‌වෛද්‍ය විද්‍යාව සමග එ‍කතු කර සංකලනයක් ලෙස රෝගීන්ට සහන සළසන්නේ කෙසේ ද යන්න සහ ආයුර්වේද නිෂ්පාදන විද්‍යාත්මකව ලොවට තිළිණ කරන්නේ කෙසේ ද යන්න එම කරුණු දෙක බව පෙන්වා දෙන ලදි. බටහිර වෛද්‍ය විද්‍යාවේ සියළු නිෂ්පාදන ලෝකයේ පිළිගැනීමට ලක්වන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුව බවත්, ආයුර්වේද නිෂ්පාදන සායනික පරීක්ෂණ හරහා විද්‍යාත්මක දත්ත අනුව ලොවට තිළිණ කිරීමට හැකි නම් ආයුර්වේද නිෂ්පාදනවලට යා හැකි දුර බොහෝ බව ද පැවැසිය. එය සෑම කෙනෙකුගේම අවධානය යොමු විය යුතු කරුණක් බව ද පෙන්වා දෙන ලදි.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයන අගය ඉතිහාසයේ වැඩිම අගයකට ලගා වෙමින් ඩොලර් බිලියන 13 පසු කළ බවත්, එම කාලසීමාවේ දී මෙරට ආයුර්වේද නිෂ්පාදන ද වැඩිපුර අපනයනය වි ඇති බව ද ආයුර්‌වේද  නිෂ්පාදන භාවිතා කරමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශ්ෂ්ට ප්‍රවර්ධනයක් ඇති වී ඇති බව ද පැවැසිය. අප පසුකරන්නේ අභීයෝගාත්මක කාලසීමාවක් සහ නිෂ්පාදනවල සක්‍ය තාවය පිළිබදව ලෝකය දැනුවත් කිරීමේ යුගයක් බවත්, ලෝකයේ ආර්ථික බල තුලනය බටහිර සිට පෙරදිගට තුලනය වනවා සේම පෙරදිග නිෂ්පාදන පිළිබදව ලෝකයේ සෑම ජන කොට්ථාසයකම ඇස් ඇරෙන සහ කථා බවට ලක්වන කාලසීමාවක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසිය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, නිෂ්පාදන දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් හී මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මෙම ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

එහිදී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී සත්කාර සේවා පවත්වාගෙනයමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රයේ  විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම සිදුකෙරිණ.