ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ Geological Society of Sri Lanka (GSSL) 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය පෙබරවාරි 22 වන දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොට්ටේ සෝලිස් හෝටලයේ දී පැවැත්විණි.

මෙම වාර්ෂික සභා රැස්වීම සහ  තාක්ෂණික සැසිය මගින් බහුවිධ පර්යේෂණ සඳහා දැනුම බෙදාගැනීම සදහා  පර්යේෂකයන්, කීර්තිමත් බුද්ධිමතුන්, නැගී එන විද්වතුන්, විද්වතුන්, විද්‍යාඥයන්, කර්මාන්තකරුවන්, වෘත්තිකයන්, උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින් අතර සහයෝගීතාවය දිරිමත් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය සඳහා භූ විද්‍යාව (Geoscience for sustainable socioeconomic development of sri lanka) යන්න තේමා කරගනිමින් මෙම 40 වන වාර්ෂික මහ සභා රැස්වීම හා තාක්ෂණික සැසිය පැවැත්විනි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ….

මෙම 40 වන මහ සභා රැස්විමට සහ තාක්ෂණික සැසියට සහභාගිවීමට හැකිවිම පිළිබදවත්, එයින් තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීමට හැකිවිම පිළිබදවත් තමන් සතුටට පත්වන බවයි.

පසුගිය වර්ෂ 40 ක් පුරාවට මෙම ආයතනය මගින් මෙරට ආර්ථික පුනරුදයට මෙන්ම වෘත්තීකයින්, විද්වතුන්, විද්‍යාඥයන්, කර්මාන්තකරුවන් යන අයගේ දැනුම වර්ධනය සදහා විශාල දායකත්වයක් දක්වා ඇති බවත්, එවකට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මෙහි නිර්මාතෘ වශයෙන් මෙය ආරම්භ කළ ගාමිණි දිසානායක අමාත්‍යවරයා ප්‍රමුඛව මේ දක්වා එම විෂයේ කටයුතු කළ සියළු අමාත්‍යවරුන්ට විශේෂ ගෞරවයක් මෙන්ම ස්තූතිය ද පුද කර  සිටින බව ද පැවැසිය.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සහ භූ විද්‍යා ප්‍රවර්ධනය සඳහා කැප වූ ප්‍රමුඛතම වෘත්තීය සංසදයක් ලෙස ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය පෙන්වා දිය හැකි අතර, මෙමගින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙත භූ විද්‍යා විද්‍යාව පිළිබඳ දැනුම බෙදාහරින අතරම ශ්‍රී ලාංකික භූ විද්‍යාඥයින්ට ශාස්ත්‍රීය හා කර්මාන්ත යන දෙඅංශයේම එකට එකතු වී ඔවුන්ගේ දැනුම, පර්යේෂණ සොයාගැනීම් සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට වේදිකාවක් වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ සභාපති උපුල් ප්‍රේමරත්න, ලේකම් ටයිටස් කුරේ, මහාචාර්යවරුන් වන සිරිමලී ප්‍රනාන්දු, අමිල රත්නායක, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ආර්.එම්.එන්.පී.කේ ජයසිංහ ඇතුලු ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.