” ලොව දිනන ඈ ” ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පැවැත්වේ..

මාර්තු 08 වන දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ” ලොව දිනන ඈ ” නම් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් Movenpick හෝටල් පරිශ්‍රයේදී මාර්තු 13 දින පැවැත්විණි.

මෙම වැඩමුළුව සදහා යුරෝපා සංගමයත් ජර්මානු ෆෙඩරල් විදේශ කාර්‍යාලයත් ඒකාබද්ධව මුල්‍ය පහසුකම් සපයන සහ GIZ ශ්‍රී ලංකාවේ සමාජ සංහිදියාව සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහන විසින් අනුග්‍රාහක දායකත්වය සපයන ලදී.

මේ අවස්ථාව සදහා එක්වෙමින් කර්මාන්ත අමාත්‍යාංශයෙහි ලේකම්තුමිය සදහන් කර සිටියේ කාන්තාවක් වීම කිසිවිටෙකත් අභියෝගයක් නොව එය සෑම විටම ශක්තියක් වන බවත් කාන්තාවගේ ආත්ම ශක්තිය සෑම විටම රටේ සංවර්ධන උදෙසා හේතු වන බවත්ය. එමෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය සදහා හරිත තාක්ෂණය, ප්‍රචාරණය, සමාජ මාධ්‍ය(Online) හරහා ව්‍යාපාර කිරීම වැනි දෑ උපයෝගී කර ගත යුතු බවත් ව්‍යාපාර සදහා සන්නාමකරණය මෙන්ම ප්‍රමිති සහතික ලබා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව තවදුරටත් එතුමිය පැවසීය.

එමෙන්ම මෙහීදී දශක පහක ව්‍යාපාර ක්ෂෙත්‍රයේ අත්දෑකීම් බෙදා ගනිමින් ජේ.යූ කේටරින් ආයතන ප්‍රධානී උදුම්බරා ජයසිරි මහත්මිය කියා සිටියේ කාන්තාව දිරි ගැන්වීම උදෙසා මෙවැනි වැඩසටහන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කිරීම අගය කළ යුතු බවත් කාන්තාව විසින් තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් හදුනාගෙන නොපසුබස්නා උත්සහයෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ව්‍යවසායකත්වයක් ප්‍රවර්ධනය කර ගත හැකි බවත්ය.

මෙහිදී තෝරාගත් ව්‍යවසායිකාවන් 10 දෙනෙකු සදහා නිෂ්පාදන කර්මාන්තයන්හී තත්ත්වයන් වැඩි දියුණු කිරීම සදහා මුදල් වෙන් කිරීමේ ලිපි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්ව ලබා දෙන ලදී. එමෙන්ම මෙහිදී බලශක්තිය ඉතිරි කිරීම ව්‍යවසායක කාන්තාවන්හට උපයෝගී වන ආකාරය පිළිබද දේශනයක් ද කර්මාන්ත අමාත්‍යාංශයේහි නිළධාරී ලලිත් වසන්ත මහතා විසින් පවත්වන ලදී.

මේ අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් මහින්ද ලාල් ගුණතිලක, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් මහේෂ් අබේසේකර, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍යාංශයේහි අතිරේක ලේකම් සුබද්‍රා වල්පොල, කර්මාන්ත අමාත්‍යාංශයේහි අධ්‍යක්ෂ ජනරාල් අනුර බණ්ඩාර, කර්මාන්ත අමාත්‍යාංශයේහි බස්නාහිර පළාත් ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා තිවංකා ප්‍රේමරත්න, කර්මාන්ත අමාත්‍යාංශයේහි නිළධාරින්, ව්‍යවසායක කාන්තාවන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.