‘ ලෙංගතුකම ‘ කැළණියට

කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මගපෙන්වීමෙන් , ත්‍රී රෝද රථ රැකියාවට නව ප්‍රවේශයක් එක්කරමින් , ජලනල ශිල්පය, විදුලි කාර්මික ශිල්පය, වඩු කාර්මික ශිල්පය, තීන්ත ආලේප කිරීමේ ශිල්පය, කොණ්ඩා කැපීමේ ශිල්පය ඇතුළු වෘත්තීය හැකියාවන්ගෙන් ත්‍රී රෝද රථ රියදුරන් සන්නද්ධ කර අමතර මාසික ආදායම් මාර්ග ඇති කර දෙන “ලෙංගතුකම” ජාතික මෙහෙයුමේ තවත් එක් වැඩසටහනක් පෙබරවාරි 22 වන දිනකැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමගින් විදාතා අංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් ත්‍රීරෝද රථ රියදුරන් හට නොමිලේ වෘත්තීය පුහුණුව, ඔවුන්ට පහසු වේලාවන්හිදී පාඨමාලාවට සහභාගී වීමේ හැකියාව, පුහුණුව අවසානයේ රජය පිලිගත් වටිනා සහතිකපත්‍රයක් ලබාදීම , පාඨමාලාව අවසානයේ පුහුණුවට සරිලන නොමිලේ ආයුධ කට්ටලයක් ලබාදීම ආදී ප්‍රතිලාභ රැසක් හිමිවෙයි.

මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම , රාජ්‍ය නිළධාරින් , ත්‍රීරෝද රථ රියදුරන් ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.