රෝද තුනේ රැකියාවට නව ඇරඹුමක්

රෝද තුනේ රැකියාවට නව ඇරඹුමක් ලබා දෙමින් ක්‍රියාත්මක ‘ ලෙංගතුකම ‘ වැඩසටහනේ ගාලු දිස්ත්‍රික් ප්‍රවේශය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන්,  ජනවාරි 27 වන දින උදෑසන ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

කර්මාන්ත අමාත්‍යංශය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමගින් විදාතා අංශයෙහි සංවිධායකත්වයෙන් මෙම ජාතික මෙහෙයුම පසුගිය ජනවාරි 26 වෙනිදා වත්තලින් ආරම්භ කෙරිණි.

නොමිලේ පුහුණුව ලබාදෙමින් ජලනල ශිල්පය, විදුලි කාර්මික ශිල්පය, වඩු කාර්මික ශිල්පය, තීන්ත ආලේප කිරීමේ ශිල්පය, කොණ්ඩා කැපීමේ ශිල්පය ඇතුළු වෘත්තීය හැකියාවන්ගෙන් ත්‍රී රෝද රථ රියදුරු මහත්ම , මහත්මීන් සන්නද්ධ කරවන මෙම වැඩසටහන අවසානයේ ඔවුන් පුහුණුව ලත් වෘත්තීය හැකියාවට අදාළව අවශ්‍ය ආයුධ කට්ටලය නොමිලේ ලබාදීමත් සිදුකෙරෙයි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ වෘත්තීය දියුණුව , ව්‍යවසායකත්ව දියුණුව වෙනුවෙන් තාක්ෂණය යොදා ගත යුතු බවත් ඒ වෙනුවෙන් තාක්ෂණයෙන් යාවත්කාලීන වූ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගනිමින් ත්‍රීරෝද රථ රියදුරු මහත්වරුන් මෙම ‘ලෙංගතුකම ‘ වැඩ සටහන හරහා සිය ජීවිතයට නව ආර්ථික ප්‍රවේශයක් ලබාගතයුතු බවයි.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් කිහිපදෙනෙකුට සිය නිෂ්පාදනයන් සදහා වූ තත්ව සහතික ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. ලක්කදාස මහතා ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම ඇතුළු නිළධාරින් , ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ.