පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ උන්නතියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.- කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ උන්නතිය සඳහා අවශ්‍ය උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,  ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  හා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරන “පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය 2024” නැරඹීමට පෙබරවාරි 09 දින එක්වෙමිනි.

ප්‍රදර්ශන භූමිය පුරා සංචාරය කරමින් ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කල රමේෂ් පතිරණ අමාත්‍යවරයා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන කර්මාන්තකරුවන් සමග අදහස් හුවමාරු කර ගත් අතර කර්මාන්තකරුවන් විසින් මේ වනවිට එම ඔවුන් මුහුණදී සිටින අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා, පුහුණු ශ්‍රමිකයින් අඩුවීම, නිෂ්පාදන පිරිවැය ඉහළයාම, ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්ති නිසා මතුවී ඇති ගැටළු වැනි ගැටළු පිළිබඳව අමාත්‍යවරයා වෙත කරුණු දක්වන ලදී. මෙහිදී ජාත්‍යන්තර වෙළදපළ ජයගත හැකි මට්ටමේ උසස් නිමාවන්ගෙන් යුක්ත පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනය කිරීම පිළිබඳව කර්මාන්තකරුවන්ව පුද්ගලිකවම අගැයීමට ලක් කරල අමාත්‍යවරයා රටට විදේශ විනිමය ඉතිරිකර දෙන මෙම දැවැන්ත කර්මාන්තය රැක ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින්ම ගන්නා බව ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රදර්ශන භූමියේ ඉදිකර තිබෙන ඉන්දියානු පාවහන් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනාගාරය නැරඹීමට එක් වූ අමාත්‍යවරයා වෙත අදහස් දැක්වූ ඉන්දියානු පාවහන් නිෂ්පාදකයින්, ලංකාවේ නිෂ්පාදනය වන තත්වයෙන් උසස් තරගකාරී පාවහන් නිෂ්පාදන පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවතින පාවහන් වෙළඳපළ පිළිබඳවත් සතුටට පත්වන බවත් ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ පාවහන් වෙළදපළ සමග සම්බන්ධවී කටයුතු කරන බවත් පැවසීය.