පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් නව කර්මාන්ත පුරයක් වාලච්චේනේ ආරම්භ කරනවා – කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ

පසුගිය දෙවසර තුල රටේ ඇතිවූ ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටළු හමුවේ වුවද දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක් සිදුවී ඇති බවත් එනිසාම පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කොට ගෙන වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලා භූමියෙන් අක්කර 25 ක භූමි ප්‍රමාණයක් නව කර්මාන්ත පුරයක් සදහා වෙන්කිරීම සිදුකොට එය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (3) පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

කොළඔ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශණ ශාලාවේදී 3, 4,5 යන තෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය වෙවර පැවැත්වෙන්නේ 13 වන වරටයි. වෙළඳ කුටි 145 කින් සමන්විත මෙම ප්‍රදර්ශණයේදී මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන ප්‍රදර්ශණය කිරීමටත් අළෙවි කිරීමටත් අවස්ථාව හිමිවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ,
“ ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් ඉතා අසීරු කාලයක් පසුගිය අවුරුදු 2 තුළ ගත කළ අතර දැඩි විදේශ විනිමය අර්බුදයකටද මුහුණ දීමට සිදුඋනා. එම තත්වය 2023 න් පසු බොහෝ දුරට අවසන් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. නමුත් මෙම අසීරු කාලපරිච්ඡේය තුළ පවා දේශිය කර්මාන්ත රැසක් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අතරින් රටට විදේශ විනිමය ඉතිරිකර දෙන ප්‍රමුඛතම කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය සුවිශේෂයි. දේශිය පාවහන් අවශ්‍යතාවයෙන් 90% ක්ම සපුරා දීමට මෙම කර්මාන්තකරුවන් සමත්වී තිබෙනවා. මෙම කර්මාන්තයේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 60 ක් පමණ වන විශාල ප්‍රමාණයක් වෙනවා. දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් යොදා තිබෙන අතර ආනයනික පාවහන් සඳහා සෙස් බද්ද පැනවීම මඟින් දේශීය පාවහන්කරුවා ආරක්ෂා කර ගැනීමට රජය සමත් වෙලා තියෙනවා. එසේම සම් ආනයනය සඳහා බදු සහන රැසක් ලබාදී තිබෙනවා. රජය විසින් ගත් මෙවැනි තීරණ මෙම කර්මාන්තයයේ ප්‍රවර්ධනයට හේතු උනා” යැයි පැවසීය.

රටට විදේශීය විනිමය ඉතිරි කරන පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය මඟින් දේශිය ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් ලබා දෙයි. මේ මඟින් ඍජු හා වක්‍ර වශයෙන් රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණ සලසා ඇති අතර මහා පරිමාණ සමාගම් 10 ක්, මධ්‍ය පරිමාණ සමාගම් 30 ක් හා සුළු පරිමාණ නිෂ්පාදකයින් 3000 ක් පමණ මෙම ක්ෂේත්‍රයේ නියලී සිටිති. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රවර්ධනය කළ හැකි අගය එකතුකළ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය හදුනාගෙන ඇත. රටේ පාවහන් අවශ්‍යතාවය මිලියන 50 ක් පමණ වන අතර රබර් සෙරෙප්පු අවශතාවය මිලියන 25 ක් පමණ වේ. මින් 60% ක ප්‍රමාණයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරයි. වර්ථමානයේ දිවයිනේ පාසැල් පාවහන් අවශ්‍යතාවය යුගල මිලියන 4.5 ක් පමණ වන අතර එය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදකයින් විසින් සපුරාලනු ලබයි. අද වන විට ඔස්ට්‍රේලියාව හා යුරෝපා වෙළඳපලට රබර් සෙරෙප්පු අපනයනය කිරීමට දේශීය පාවහන් නිෂ්පාදයින් සමත්ව සිටී.

මීට අමතරව ලංකාවේ සම් නිෂ්පාදන කර්මාන්තශාලා 8 ක් ක්‍රියාත්මක වන අතර මසකට සම් වර්ග අඩි ලක්ෂ 6 ක් පමණ නිෂ්පාදනය කරයි. සම්භාණ්ඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ කර්මාන්තශාලා 6 ක් හා සුළු පරිමාණ කර්මාන්තශාලා 1000 ක් පමණ ක්‍රියාත්මක වන අතර ඒවායේ නිෂ්පාදන බොහොමයක් සංචාරක කර්මාන්තය අරමුණු කරගෙන සිදුකරයි.

පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2007 වර්ෂයේ මුල්වරට ආරම්භ කොට කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ එක්ව පවත්වන මෙම ප්‍රදර්ණය මෙවර පැවැත්වෙන්නේ කොරෝනා අර්බුදය නිසා පවත්වා ගත නොහැකි වූ වසර දෙකක නිහැඩියාවකට පසුවයි.

මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති පී. ජී. ඩී. නිමලසිරි, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, ලංකා කාර්මික සංවර්ධන මණිඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අමාත්‍යාංශ නිලධාරීන්, කර්මාන්තකරුවන් අතුළු විශාල පිරිසක් සහභාගි වුහ.