" ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය" (රත්නපුර මැණික් කුලුන) විවෘත කෙරේ..

2021 වර්ෂයේ ජනවාරි මාසයේ රත්නපුරයේදි ඉදිකිරීම් ආරම්භ “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය” (රත්නපුර මැණික් කුලුන) විවෘත කිරීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් අප්‍රේල් 04 දින සිදුවිය.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කොට ඇති අතර එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කොට තිබෙයි. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500ක් වෙයි.

පළමු අදියර යටතේ විවෘත කළ මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිත වෙයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත.

මෙම අවස්ථාවට මැති, ඇමතිතුමන්ලා ප්‍රමුඛ මැණික් ක්ෂේත්‍රය හා සම්බන්ධ සම්භාවනීටන් රැසක් එක්ව සිටියහ.