කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමට IDB හා යුනිලීවර් අතර අවබෝධතා ගිවිසුමක්..

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MOU) එළැඹීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 12 දින සිදු විය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.   

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂුද්‍ර ,සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන කර්මාන්ත සංවර්ධන අරමුදලට මෙම අවබෝධතා ගිවිසුම අනුව යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව වසර තුනක් වාර්ෂිකව රුපියල් මිලියන 10 බැගින් මිලියන 30 ක් ලබාදෙනු ඇත. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙක් සඳහා ‘ Industry ණය ‘ යෝජනා ක්‍රමය යටතේ මුදල් ප්‍රදානය කිරීමද අද දින සිදු කළ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙක් සවිබල ගැන්වීම සදහා කර්මාන්ත සංවර්ධන අරමුදල හරහා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම තම දායකත්වය ලබා දෙනු ඇත.

1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත අනුව ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල ‘ ආරම්භ කළ යුතුව තිබුණත් දශක ගණනාවක් පුරා මගහැරුණු එය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පසුගිය වසරේ පැවැත් වූ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ආරම්භ කරනු ලැබිණි. එලෙස ආරම්භ කළ කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් ‘ Industry ණය ‘ යෝජනා ක්‍රමය හරහා 6% ක් වැනි ඉතා අඩු පොලියක් යටතේ වසර 3ක ගෙවීම් කාලයකට යටත්ව ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් තම කර්මාන්ත සංවර්ධනය සදහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාගැනීමේ හැකියාව ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ලංකාවේ දේශීය කර්මාන්ත නගා සිටුවීමට ලබා දුන් සහයෝගයට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මෙම අවස්ථාවේදී තම විශේෂ ස්තුතිය පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා,

නිදහසින් පසුව පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතළ පහසුකම් සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසක සීඝ්‍ර දියුණුවක් ඇතිවූ බවත් පසුගිය කාල වකවානුවේ ඇතිවූ විවිධ ගෝලීය අර්බුද හමුවේ කලාපයේ අනෙකුත් රටවල් වලට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාව සාමාන්‍යකරණයට පත්වූ බවත් පැවසීය. රටක් සංවර්ධනය වීමටනම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව අනිවාර්ය වන අතර, මේ වන විට අපනයන කේන්ද්‍රය ආර්ථිකයක් කරා ලංකාව ගමන් කරමින් පවතින බවත් මෙම අරමුණ සාක්ෂාත්කර ගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය ප්‍රමුඛ කර්මාන්ත අමාත්‍යාංශය පුද්ගලික අංශයේ ද සහාය ඇතිව ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව පැවසීය.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නගා සිටුවීමට තම ආයතනයේ උපරිම සහයෝගය අඛණ්ඩව ඉදිරියේදීද ලබාදෙන බව පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති W.A.D.S. ගුණසිංහ,  කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් H.M.S. සමරකෝන්, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ නිලධාරීන්, කාන්තා ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.