ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සන්නාම 500 ක් සංවර්ධනය කෙරේ.

ග්‍රාමීය මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ඉහලට ගොස් ජාත්‍යන්තර වෙළඳපල දක්වා ගෙන යා හැකි ව්‍යාපාර සන්නාම බවට පත්කිරීම සඳහා ” B500 ” සන්නාම 500 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාර්තු 22 දින පැවැත්විණ.

මෙම වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආහාර පාන, රූපලාවන්‍ය, තේ, ඇඟලුම්, ඇසුරුම්, බතික්, ලී වැනි නිෂ්පාදන රැසක සන්නාම ප්‍රවර්ධනය කිරීම සදහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරයි. මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හට අපනයන වෙළඳපොළ ආකර්ෂණය කරගත හැකි වන අතර සන්නාමකරණය පිළිබදව ව්‍යවසායකයින් දැනුවත් කිරීම, සන්නාම ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම, රජය විසින් ව්‍යවසායකයින්ට ලබා දෙන විවිධ සේවාවන්හිදී ප්‍රමුඛත්වය ලබාදීම, සන්නාමකරණට අදාළ පහසුකම් නොමිලේ සැපයීම, දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා ඇති කිරීම, ව්‍යාපාරික ගැටලු සඳහා මැදිහත්වීම සිදුකරයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ජාතික තලයේ සිට ජාත්‍යන්තර තලයට ගෙනයාම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ බවත් අප රටට ඉතාම ආසන්නයේ සිටින ලෝක ආර්ථිකයේ 6 වන ආර්ථික බලවතා වන ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සන්නාම සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරීම වැදගත් බව පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් ලංකාවේ ජනගහනයෙන් 2.8% ලෙස පැවති ව්‍යවසායකත්වය පසුගිය අවුරුදු 2 තුළදී 3% ක් දක්වා වැඩි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයට හැකිවූ බවත් 2030 වසර වන විට මෙම ප්‍රමාණය 10% ක් දක්වා වැඩි කිරීමට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහන් රැසක් සැලසුම්කර ක්‍රියාත්මක කරන බව පැවසීය. ව්‍යවසායකත්වය දියුණුකිරීමේදී සන්නාමය, සහතිකය හා සන්නිවේදනය යන කරුණු 3 ඉතා වැදගත් බවත් එය අරමුණු කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුළින් ලොව ප්‍රසිද්ධ සන්නාම අතරට අපේ ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මාන 100ක් වත් සංවර්ධනය කිරීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවත් ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

” B500 ” සන්නාම 500 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ නිල සන්නාම උපදේශක ලෙස ආචාර්ය ෆිලිප් නේරි මුල්ලේගම මහතා සහ නිල You Tube සමාජ මාධ්‍ය සහකරු ලෙස Loku Business පුද්ගලික සමාගම කටයුතු කරයි. මෙම පත්කිරීමේ ලිපි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් අද දින ඔවුන් වෙත පිරිනමන ලද අතර ව්‍යාපාර ලෝකයේ සන්නාම වලට හිමිවන ස්ථානය සහ සන්නාම වල වැදගත්කම පිළිබඳව විශේෂ දේශනයක් ආචාර්ය ෆිලිප් නේරි මුල්ලේගම මහතා විසින් සිදුකරන ලදී.