කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ ශාන්ත වීරසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේදී අද( අප්‍රේල් 05 ) සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් වූ ශාන්ත වීරසිංහ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේදී අප්‍රේල් 05  සිය ධූරයේ වැඩ ආරම්භ කළේය. 2000 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඔහු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමට පෙර ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ශාන්ත වීරසිංහ මහතා සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් හා ප්‍රාදේශීය ලේකම්වරයක් ලෙසත් ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂකවරයක් ලෙසත් කටයුතු කර ඇත. මීට අමතරව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂක හා ජේෂ්ඨ සහකාර ලේකම් තනතුරු හෙබවූ ඒ මහතා ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ජේෂ්ඨ උපදේශකයෙක් ලෙසද කටයුතු කර ඇත. ජාතික හා පළාත් ඵලදායිතා සම්මාන උළෙල වලදී විශේෂ ඇගයීම් වලට ලක්වූ වීරසිංහ මහතා 2014 – 2015 වසර වලදී ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබෙයි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් තම පළමු උපාධිය හිමිකරගත් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි හිමිකරගෙන ඇති අතර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳව ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් වන කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ශාන්ත වීරසිංහ මහතා කළමනාකරණය, ඵලදායිතාව, සැලසුම්කරණය, ව්‍යවසායකත්වය, මානව විභවකරනය ආදී ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් රැසක් ඇති නිලධාරියෙකි.