කර්මාන්ත අමාත්‍යංශයේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් 2024 වසර සඳහා කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරේ..

කර්මාන්ත හා සෞඛ්‍ය  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම පෙබරවාරි 26 වන දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් 26 දෙනෙක් අමාත්‍යාංශය සමග මෙලෙස කාර්ය සාධන ගිවිසුම් වලට එළඹීම සිදුවිණි.

2023 වසරේදී පළමුවරට කර්මාන්ත අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන අතර කාර්ය සාධන ගිවිසුම් අත්සන් කළ අතර එම ගිවිසුම් අනුව කටයුතු කළ ආයතන සියල්ලම පසුගිය වසරේදී ඉහළම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමට සමත්විය.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ලටම පසුගිය වසරේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කිරිමට හැකියාවක් ලැබුනේ නිවරදිව KPI අනුගමනය කිරීමෙන් බවත් එවැනිම වූ ඉහළ කාර්ය සාධනයක් මෙම වසරේදීද සියලුම ආයතන වලින් බලාපොරොත්තු වන බවය. එසේම ආයතනවල වියදම් කළමනාකරණය මෙන්ම ආදායම් කළමනාකරණයද ඉතා වැදගත් කොට සලකා කටයුතු කළයුතු බවත් මෙම වසරේ සිට සෑම මාස තුනකට වරක්ම කාර්ය සාධන ගිවිසුම් ඇගයීම සිදුකරමින් එහි ඵලදායිතාව වඩාත් ඉහල නැංවීමට කටයුතු කරන බවද තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්), ප්‍රධාන මූල්‍ය නිලධාරී, ආයතන වල සභාපතිවරුන් ප්‍රමුඛ ප්‍රධානීන් , අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

.