දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP)ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම වැඩසටහනෙහි ගිවිසුම් අත්සන් කිරීම සිදුකෙරෙයි.

කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන දේශීය ව්‍යාපාර සදහා සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ( RECP )ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන සදහා තෝරාගත් ව්‍යවසායකයන් 30 දෙනෙකු සමග ගිවිසුම් ගත වීම මැයි 09 දින කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ  ශ්‍රී ලංකාවේ තෝරාගත් කර්මාන්ත වල සම්පත් කාර්යක්ෂමතාව (බල ශක්තියා , ජලය , අමුද්‍රව්‍ය) වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂමතාව පිළිබද විශේෂඥ දැනුම ඇති කළමණාකරුවන් බිහි කිරීම, සහ මෙම අංශයන්හි අනෙකුත් කර්මාන්ත ද මෙම සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කිරීම යන ඒවායි. මෙම වැඩසටහන පසු ගිය වර්ෂයේද පැවැත්වූ අතර ඉන් ඉතාම සාර්ථක ප්‍රතිඵල මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට එක්ව තිබෙයි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ මෙම වැඩසටහන හරහා කර්මාන්තයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර අපද්‍රව්‍ය තුළින් ආදායම් උපයා ගන්නා මට්ටමට සංවර්ධනය කරලීමත් ඒ හරහා පාරිභෝගිකයා වෙත සාධරන මිලකට ඔවුන්ගේ සේවා සහ භාණ්ඩ අලෙවි කළ හැකි බවත්ය.

මේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි සභාපති ඉංජිනේරු ගාමිණී ගුණසේකර, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානහි ප්‍රධාන අධ්‍යක්ෂක ඉංජිනේරු සමන්ත කුමාරසේන, කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ නාලිනී බාලසුබ්‍රමනියම්, නිෂ්පාදන ආයතන ප්‍රධානින් ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් සහ ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව සිටියහ.