අබලි ලෝහ එකතුකරන්නන් නියාමනයට කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය......

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභා කමිටු රැස්වීම මැයි 08 දින කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදි පැවැත්විණ.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන  අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සමාජිකයින් 21 ක් ගෙන් සමන්විත මෙම ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාව මගින් අදාල කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබයි.

2020 වසරේ අගෝස්තු මාසයේ සිට රජය විසින් අබලි ලෝහ අපනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක තවමත් විවිධ ආකාරයෙන් විශාල වශයෙන් අබලි ලෝහ අපනයනය සිදුවීම පිළිබඳව මෙම කමිටු රැස්වීමේදී අවධානය යොමු කළ අතර නිෂ්පාදන කටයුතු සිදු කරන මුවාවෙන් පවත්වාගෙන යන අබලි ලෝහ අපනයනය කරන ව්‍යාජ කර්මාන්තශාලාවලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කිරීමට මෙහිදී අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.

තවද මෙම ක්ෂේත්‍රයේ  පුහුණු ශ්‍රමිකයින් හා වෘත්තිකයන් සදහා විදේශයන්හි ඇති ඉහළ ඉල්ලුම නිසා පුහුණු ශ්‍රමිකයින් හා වෘත්තිකයන් විදෙස් ගතවීමත් එමනිසා මෙම කර්මාන්තය මුහුණ දෙන ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම දීර්ඝ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව වාත්තු ලෝහ ලෙස ඉදිරිපත් කරමින් අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත්, වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ එක්ව මෙම ක්ෂේත්‍රය සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම පිළිබදව හා අබලි ලෝහ එකතුකරන්නන් නියාමනය කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කිරීමටත් තීරණය කරන ලදී.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්‍රෝපකරණ ආංශික උපදේශණ සභාවේ සභාපති අතුල හපුතන්ත්‍රී, සමස්ත ලංකා වාත්තුකරුවන්ගේ සංගමයේ නිලධාරීන් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.