" Industry 2023 " ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව , පැවැත්වූ දැවැන්ත ' ජාතික වාහන පෙරහැර '

කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව , වාහන නිෂ්පාදන ආයතන 26 ක දේශීයව එකලස් කළ වාහන 150 කට අධික ප්‍රමාණයක් සහිත දැවැන්ත ‘ ජාතික වාහන පෙරහැර ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සවස (21) පැවැත්විය. ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර පිට කොටුව, මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණි මෙම වාහන පෙරහැර ශ්‍රි ලංකාවේ රථවාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග නිරූපනය කරනු ලැබීය.
 
2021 වර්ෂය වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 4 දෙනෙක් පමණක් මෙරට තුළ වාහන එකලස් කිරීමේ නිරත වුවද 2021 දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය හදුන්වාදීමෙන් පසුව මේ වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 26 දෙනෙක් තම නිෂ්පාදන ආරම්භ කර ඇත. ඒ අනුව මෝටර් රථ, ත්‍රී රෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කරමින් එකලස් කර දේශිය මෙන්ම විදේශීය වෙළඳපළට ඉදිරිපත් කිරීමට හැකිවී ඇත.
 
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ,
වර්ථමානය වන විට රටේ නව නිෂ්පාදන කර්මාන්ත රැසක් බිහිවී ඇති බවත් ඒ අතරින් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සුවිශේෂී වී ඇති බවයි. එකලස් කිරීමේ කටයුතු, උපාංග නිෂ්පාදනය මේ වන විට දේශීය වෙළඳපළට පමණක් සීමා නොවී එම උපාංග ලෝක අගයදාමයන් සංවර්ධනය කිරීමට සම්බන්ධ කිරීමට දේශීය නිෂ්පාදකයන් සමත්ව සිටින බවත් විවෘත වෙළඳපළ ආර්ථිකයක් අප රටේ පැවතියද දියුණු කළ හැකි කර්මාන්ත ක්ෂේත්‍ර හදුනාගෙන එම කර්මාන්ත සඳහා ආරක්ෂනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට යාමට අපට කිසිදු හැකියාවක් නොලැබෙන බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසීය.
 
මෙම අවස්ථාවට වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර. චාමර සම්පත් දසනායක, සිරිපාල ගම්ලත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, රාජ්‍ය නිලධාරීන්, වාහන නිෂ්පාදකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.