රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් ජාතික සම්මන්ත්‍රණය පැවැත්වේ..

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන එක් එක් කර්මාන්ත ක්ෂේත්‍රයන්ට අදාළ මාසික ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණ මාලාවේ සැප්තැම්බර් මාසය වෙනුවෙන් වූ සම්මන්ත්‍රණය රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගෙන සැප්තැම්බර් 26 කොළඹ මරිනෝ බීච් හෝටලයේදී පැවැත්විණි. 

මෙම ජාතික සම්මන්ත්‍රණය තුළින් රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් දිරිමත් කිරීම, දැනුවත් කිරීම සහ අභියෝග හදුනා ගැනීම අරමුණු කෙරිණි. 

මෙහි ආරාධිත දේශනයන් සදහා සම්පත් දායකත්වය දැක්වූ ආචාර්ය සිසිර රණතුංග මහතා ශ්‍රී ලංකාවෙහි රබර් කර්මාන්තයෙහි තරගකාරිත්වය වැඩිදියුණු කිරීමට ක්‍රියා කළ යුතු විවිධ පැතිකඩයන් පිළිබදව පෙන්වා දුන්නේය. එහිදී ක්‍ෂේත්‍රයෙහි අභියෝග හදුනා ගනිමින් ගෝලීය වෙළදපල ප්‍රවණතා සදහා අවධානය යොමු කිරීම ප්‍රබල සාධකයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

එමෙන්ම රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආංශික උපදේශක කමිටුවේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා මෙම ක්ෂේත්‍රය තිරසාර සංවර්ධනය කරා යොමු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද කරුණු සම්මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව වායුමය ටයර් සහ රබර් අත්වැසුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රබලයා ලෙස ක්‍රියා කරන බවත්, එය තවදුරටත් ප්‍රවර්ධනය සදහා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලින් වෙත යොමු විය යුතු බවත් පෙන්වා දුන්නේය.

එයට අමතරව තාක්ෂණික සහ පර්යේෂන, සංවර්ධන Dipped Products පුද්ගලික සමාගමෙහි සාමාන්‍යාධිකාරී ආචාර්ය උපුල් රත්නායක මහතා, රබර් කර්මාන්තයේ තිරසාර බව වර්ධනය උදෙසා නැනෝ තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබදව සිය අදහස් ඉදිරිපත් කළ අතර එමගින් මෙරට රබර් කර්මාන්තය සදහා නවෝත්පාදන වේදිකාව නිර්මාණය වන බවත් පෙන්වා දුන්නේය. 

සම්මන්ත්‍රණයට සහභාගී වූ කර්මාන්තකරුවන් සදහා ඔවුන්ගේ ගැටළු , යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව අතර සංවාද මණ්ඩප අවස්ථාවේදී ලැබුණු අතර එම සංවාද මණ්ඩපය සදහා කර්මාන්ත ආමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ උපුල් සෙනරත්, රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සුසන්ත සිරිවර්ධන, කර්මාන්ත මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් එක්වූහ. 

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, රබර් පර්යේෂණ ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර ඇතුළු රාජ්‍ය නිළධාරින් , රබර්, ප්ලාස්ටික් සහ ෆයිබර් නිෂ්පාදන ක්ෂේත්‍රයන් සම්බන්ධ නිෂ්පාදන කර්මාන්ත ආයතනයන්හි ප්‍රධානීන් , නිළධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.