රත්මලාන SLITA ආයතනයේ අධ්‍යන හා පර්යේෂණ පහසුකම් පුළුල් කරමින් නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ...

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන පිහිටි ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතන පරිශ්‍රයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සැප්තැම්බර් 06 දින විවෘත කෙරිණි.

මෙරට ඇගළුම් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පරීක්ෂණ කටයුතු , තාක්ෂණ සේවා සහ උපදේශන සේවා සපයන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇගළුම් ආයතනය ( SLITA) ඇගළුම් ක්ෂේත්‍රය සම්බන්ධ පාඨමාලාවන් මෙහෙයවන ප්‍රමුඛ රාජ්‍ය ආයතනයද වෙයි.

SLITA ආයතනයට මේවනවිට විශ්ව විද්‍යාල උපාධි පිරිනැමීමේ ආයතන පහසුකම හිමිව ඇති අතර මෙම වර්ෂය අවසානයට පෙර උපාධි පාඨමාලා ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කොට තිබෙයි. එම අධ්‍යන පාඨමාලාවන් වෙනුවෙන් නවීන පහසුකම් සැපයීමේ අරමුණෙන් මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සිදුකොට ඇති අතර එහි සියළු පහසුකම් සහිත පංති කාමර 12 ක් , සුහුරු පංති කාමර 5ක් , පාවහන් ඒකකයක් , පරීක්ෂණාගාරයක් , ඇගළුම් මැෂින් ඒකකයක් ඇතුළු අංග රැසක් අන්තර්ගත වෙයි.

මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ ඇගළුම් කර්මාන්තයේ ගුණාත්මක භාවය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින අපේ රටට SLITA ආයතන හරහා ලැබුණු පිටුබලය විශාල බවත්, මෙලෙස ඇගළුම් ක්ෂේත්‍රය සදහා අවශ්‍ය අධ්‍යන පහසුකම් සහ භෞතික සම්පත් පුළුල් කිරීමෙන් එය තවදුරටත් ප්‍රවර්ධනය වනු ඇති බවත්ය. එමෙන්ම ඇගළුම් ක්ෂේත්‍රය සම්බන්ධ පර්යේෂණයන් සහ නවෝත්පාදනයන් මෙන්ම අගය එකතු කරන නිෂ්පාදනයන් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රටේ අපනයන ආදායම ඉහළ නංවාගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් සහ SLITA සභාපතිනී නන්දනී සමරවික්‍රම , අතිරේක ලේකම් රංජිත් විමලසූරිය , SLITA හි නිළධාරින් , විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.