ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මැයි 21 දින පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා, රටේ ආර්ථිකයේ සුවිශේෂී ස්ථානයක් කර්මාන්ත ක්ෂේත්‍රයට හිමිවන බැවින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛ  රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව පැවසීය.

ඇඟළුම්, ඖෂධ , ලෝහ හා අච්චු, තීන්ත හා රසායනික ද්‍රව්‍ය, බෝට්ටු නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභාරණ, රබර් හා ප්ලාස්ටික් , ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, ආහාර වැනි විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශණ සභා 20 ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර අදාල කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම මෙම ආංශික උපදේශණ සභා මගින් සිදුකරනු ලබයි.

මෙහීදී ආංශික උපදේශණ සභා සභාපතිවරුන් විසින් මේ වන විට තම කර්මාන්ත ක්ෂේත්‍රයන් මුහුණ දෙන විවිධ ගැටලු සහ අභියෝග පිළිබදව අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා දැනුවත් කරන ලදී. එසේම ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තීන්,  තීරු බදු රහිතව රටට අනවසරෙන් ගෙන්වන භාණ්ඩ, කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම, ඉදිකිරීමට යෝජිත බෝට්ටු නිෂ්පාදනය කර්මාන්ත කලාපය ආදී කරුණු පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ආංශික උපදේශණ සභා 20 හි සභාපතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.