ඉතිහාසය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථාන

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය හා ක්‍රමෝපායයන් පැවතුණ රජයන්හි ආර්ථික හා දේශපාලන මූලෝපායන් සහ ජාත්‍යන්තර ආර්ථික පරිසරයන්ට අනුකූලව පැවතිණි. නිදහසට ප්‍රථම අපගේ කර්මාන්ත මූලික අපනයන සැකසුම් කර්මාන්ත පදනම්ව පැවති අතර, 1939 දී දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමඟම රාජ්‍ය මැදිහත්වීම තුළින් රාජ්‍ය අංශය තුල මූලික කර්මාන්ත පිහිටුවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කමිටුවක් මඟින් පත් කරන ලද 1947 අංක 73 දරණ සැසි වාර්තාව තුලින් රජය වඩා මැදිහත්වීමකින් යුතු කර්මාන්ත ප්‍රතිපත්තියකට අවතීර්ණ විය. නිදහසෙන් පසු කාලයේදීද රාජ්‍ය අංශය මූලික වූ කර්මාන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුණු අතර, ආනයන ආදේශික කර්මාන්තකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. 1960 – 1970 දශකය තුළ දේශීය කර්මාන්ත කෙරෙහි දැඩි ආරක්ෂණ පිළිවෙතක් අනුගමනය කළ අතර ඒ සඳහා විශාල වශයෙන් දිරිගැන්වීමද කරන ලදී. තවද අපනයන ආශ්‍රිත කර්මාන්ත දිරිගන්වන අතර ආනයන ආදේශික කර්මාන්ත ප්‍රතිපත්තියක් මේ කාලය තුළ අනුගමනය කරනලදි. 

වසර 1970 දී රජය දැඩි ආනයන ආදේශික කර්මාන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, රජය නිෂ්පාදන කාර්යාවලියට සෘජුව දායක විය. එබැවින් සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් තුළ පිහිටමින් ආනයන අපනයන ආශ්‍රිත කර්මාන්ත දිරිගැන්වීම රජයේ කර්මාන්ත ප්‍රතිපත්තිය විය. තවද පුද්ගලික ආයතන ජනසතු කිරීමේ වැඩ පිළිවෙලද මේ කාලය තුල ශක්තිමත්ව ක්‍රියාත්මක විය. නමුත් 1977 සිට විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටමින් පුද්ගලික අංශය කර්මාන්ත සංවර්ධනයේ මුලික යාන්ත්‍රණය කොට, විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රජය විසින් අනුගමනය කරන ලදී.එසේම විවෘත ආර්ථික  ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තියක්ද ක්‍රියාත්මක කරන ලදි. ඒ යටතේ රජයට අයත් සමහර කර්මාන්ත පෞද්ගලික කරණය කරන ලදි. උදාහරණ ලෙස තුල්හිරිය, පූගොඩ පේෂකර්මාන්ත ශාලා වර්තමානය වන විට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය කර්මාන්ත සංවර්ධනයට යොදා ගැනීම රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත. විශේෂයෙන් PPP ප්‍රතිපත්තිය BOT, BOO ප්‍රතිපත්තිය යටතේ කර්මාන්ත සංවර්ධනය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.