වසර 5 කට පසු ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය නැවතත් ........

“Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් ලෙස වසර 5 කට පසුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන මෙම ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය පාසල්, රාජ්‍ය සහ නිෂ්පාදන හා සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර 3 යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙයි. 1994 වසරේදී පිහිටුවනු ලැබූ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) මගපෙන්වීම මත කලාපීය රටවල් 20 ක සහයෝගීතාව සහිතව ශ්‍රී ලංකාවේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වෙයි. ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ විවිධ අංශ තුළ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට එම වැඩසටහන් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි.

මෙහිදී ආසියානු ඵලදායිතා සංවිධානය (APO) ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ඵලදායිතාවය ඉහල නැංවීම සඳහා ලබාදෙන සහාය අගය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් රජය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතිය සමග සමගාමීව ඵලදායිතා වැඩසටහන් රටේ සෑම ක්ෂේත්‍රයක් තුළම ක්‍රියාත්මක වීම වැදගත් වන බව පැවසුවාය. විශේෂයෙන්ම ඉතිහාසයේ පළමුවරට ලංකාවේ පාසල් පද්ධතිය තුළට මෙම ඵලදායිතා සංකල්පය ගෙනයාමට හැකිවූ බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය එමගින් අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභ වඩාත් තිරසාර වන බවද වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ වසර 5 කට පසුව නැවතත් ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය හරහා ඵලදායිතා සංකල්පය ජනතාව අතරට ගෙන යාමට ලැබීම පිළිබඳව සතුටු වන බවයි. එසේම ඵලදායිතා සංකල්පය සමාජගත කිරීම තම අමාත්‍යාංශයේ අරමුණ බවත් වත්මන් රජයේ විසින් ක්‍රියාත්මක කරන “Clean Sri Lanka ” ජාතික ව්‍යාපෘතියයේ අරමුණුවලට සමගාමීව පැවැත්වෙන මෙම තරගාවලිය ඔස්සේ රටේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව පැවසීය. එසේම මෙම ඵලදායි සංකල්ප ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තුරන් කරමින් නව මාවතක් කරා රාජ්‍ය සේවය ගෙනයාමේ හැකියාව පිළිබදවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.

ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ආසියානු ළුලදායිතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය Indra Pradhana Singawinta මහතා ඕනෑම රටක තිරසාර ආර්ථික සංවර්ධනය සදහා ඵලදායිතා සංකල්ප යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

2025 /2026 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ නිර්ණායක එළිදැක්වීමද මෙහිදී සිදු කරන ලද අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රී, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මහා සංඝරත්නය කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගි වූහ.