State of the ART LAB for Food Testing....

“රත්මලාන මෙන් ඉදිරියේදී සෙසු කර්මාන්තපුර සියල්ලම ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකි උපරිමයෙන් විසඳනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ රත්මලාන කර්මාන්තපුරය මෙන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින සෙසු සියලු කර්මාන්තපුර ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටළු හැකිතාක් උපරිමයෙන් විසඳීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අද (15) රත්මලාන කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රත්මලාන කර්මාන්තපුරයෙහි කර්මාන්ත විස්සකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. එහි කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටළු සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට තමයි අපි අද මෙහි ආවේ. අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා, රට පුරා ඇති කර්මාන්තපුර සියල්ලෙහිම මෙවැනි නිරීක්ෂණ චාරිකාවන්හි යෙදිලා ඒවායේ ගැටළු හඳුනාගෙන ඒවාට හැකිතාක් උපරිමයෙන් විසඳුම් සපයා දීමට. දැනට බොහෝ දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව තමයි රටේ පවතින ඩොලර් පිළිබඳ අර්බුදය නිසා වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට සිදුව ඇති අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කරවා ගැනීමට තිබෙන අසීරුතාව. ඒ නිසා ඔවුන්ට තම නිෂ්පාදන කාර්යයෙහි දුෂ්කරතා මතුව තිබෙනවා ඒ අය බොහෝදෙනකුගේ පොදු ප්‍රශ්නය එයයි. අපි බලාපොරොත්තු වෙනවා, මහ බැංකු අධිපතිතුමන් හා අනෙකුත් රජයේ අංශ සමඟ සාකච්ඡා කරලා එම තත්ත්වය හැකිතාක් ඉක්මනින් වෙනස් කර දීමට සුදුසු පියවර ගැනීමට. මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා ද එක්ව සිටියේය.