රජයන් අතර සාර්ථකව ඒකාබද්ධ ව්‍යාපාර සිදුකළ හැකියි. - කර්මාන්ත අමාත්‍ය හදුන්නෙත්ති.
රජයන් – රජයන් අතර ඒකාබද්ධ රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව සිදු කළ හැකි බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය සදහා එහි පැමිණි අවස්ථාවේදීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය 1983 වසරේදී ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් ආයතනය සමග ඒකාබද්ධ සමාගමක් ලෙස ආරම්භ කළ අතර එහි කොටස් අයිතියෙන් 73% ක් ලංකාවට අයත් වන අතර ඉන් 41% ක විශාලම කොටස් අයිතිය ලංකා රජය සතුවෙයි. මෙම ආයතනය විසින් බස් රථ, ට්‍රක් රථ, ටිපර් ඇතුළු බර වාහන මාදිලි රැසක් 40% කට වඩා වැඩි දේශීය අගය එකතු කිරීමක් සහිතව නිෂ්පාදනය කර වෙළඳපළට ඉදිරිපත් කරයි. මේ වන විට ලංකා අශෝක් ලේලන්ඩ්හි නිෂ්පාදන මාලදිවයින වෙත අපනයනය සිදු කරන අතර 600 කට ආසන්න පිරිසකට සෘජු රැකියා අවස්ථා සලසා දී තිබෙයි. ලාභ ලබන දේශීය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙමගින් මෝටර් ඉංජිනේරු තාක්ෂණය පිළිබදව පාඨමාලා පැවැත්වීම ද සිදු කරනු ලැබෙයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ,
රජයන් අතර ඒකාබද්ධ රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාම පිළිබදව පවතින හොඳම උදාහරණයක් ලෙස ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය පෙන්වා දිය හැකි බවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියානු රජයන් එක්ව ඒකාබද්ධව සාර්ථකව පවත්වාගෙන යන මෙම ආයතනය මගින් උතුරු- නැගෙනහිර, වතුකර හා ග්‍රාමීය ජනතාවගේ භාවිතය සඳහා අඩු මිල- නවීන තාක්ෂණය සහිත නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් විශේෂයෙන්ම පාසල්, විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතනවලට අවශ්‍ය බස් රථ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය හරහා නිෂ්පාදනය කර පහසු මිලකට එම ආයතන වලට ලබාදීමට කටයුතු කරන බව පැවසීය. ඉරිදියේදී “Made in Sri Lanka” නාමය යටතේ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒමටත් ආයතනයේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් අනිකුත් රටවල් සඳහාද අපනයන කටයුතු පුළුල් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සභාපති මිල්ටන් සමරසිංහ, ලංකා අශෝක් ලේලන්ඩ් ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම්, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ





