ඵලදායිතා සංවර්ධනය පිළිබද අන්තර්ජාතික පුහුණු වැඩසටහනක් කොළඹදී ..........
ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) අනුග්‍රහයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ ඵලදායිතා සංවර්ධන විශේෂඥ (මූලික) අන්තර්ජාතික පුහුණු වැඩසටහන (Training Course on Development of Productivity Specialist ) 16 දා කොළඹදී ආරම්භ විය.
16 දා වනදා සිට 27 වැනිදා දක්වා දින 12 ක් කොළඹ NH Collection හෝටලයේදී පැවැත්වෙන මෙම අන්තර්ජාතික පුහුණු වැඩසටහන සඳහා ඉන්දියාව, බංගලිදේශය, කාම්බෝජය, නේපාලය, පකිස්තානය, පිලිපීනය, වියට්නාමය, තායිවානය, මොංගෝලියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක් නියෝජනය කරමින් ඵලදායිතා සංවර්ධන විශේෂඥයින් 25 දෙනෙක් සහභාගි වී සිටිති. මෙම පුහුණු පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජික රටවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ මෙවලම් හා ශිල්පීය ක්‍රම පිළිබඳව විශේෂඥ පුහුණුවක් තම සාමාජික රටවල් වෙත ලබා දීමයි.
සිංගප්පූරුවේ Hocklink Systems & Services සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන උපදේශක George Wong, මැලේසියාවේ Gemba Solution සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ Syukri Hadafi, ආචාර්ය Eugene Y. Lin (තායිවානය), විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර යන මහතුන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ඵලදායීතාව හා ව්‍යාපාර තරගකාරීත්වය, සාමාජීය රටවල ආර්ථික ඵලදායිතාව සදහා බලපා ඇති ගැටලු හා අභියෝග, ඵලදායිතා වැඩිදියුණු කිරීමේ ශිල්පීය ක්‍රම, ඵලදායිතා නිපුණතා සංවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරෙනු ඇත.
අද පැවති මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් S. W. C. ජයමිණි, අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) I.M.P. ගුණරත්න, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ ජයකොඩි, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුගන්ධිකා ලියනගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් සහ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.





