තරුණ ව්‍යවසායකයින් දහසක් ගෝලීය වෙළඳපළට යොමු කරවන 4I.....

තරුණ ව්‍යවසායකයින් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ (4I Project) දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ( Liaison Officers) සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජුනි 24, 25 හා 26 යන තෙදින පුරා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු තෝරාගත් නිලධාරීන් හතළිස් දෙනෙක් සඳහා මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී.

 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම 4I ව්‍යාපෘතිය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් දහසකගේ ගෝලීය වෙළඳපලට සාර්ථකව ප්‍රවේශ වීමට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වැඩි දියුණු කරමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ඇත. තවද  මෙම 4I ව්‍යාපෘතිය මඟින් තෝරාගන්නා ලද ව්‍යවසායකින්ගේ අපනයන වෙළඳපලට ප්‍රවේශ වීමට ඇති බාධා හා අභියෝග හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ  නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීමද සිදු කරනු ලබයි.

 

2023 වසරේදී පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර එමඟින් තෝරා ගත් තරුණ ව්‍යවසායකයින් සියයක් සවිබල ගන්වන ලදී. එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත තවත් තරුණ ව්‍යවසායකයින් දහසක් දෙනා මෙම ව්‍යාපෘතිය හරහා සවිබල ගැන්වීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙයි.

 

තෝරාගත් මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය හා සම්බන්ධිකරණය යටතේ මෙම 4I ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වන අතර තරුණ ව්‍යවසායකයින් සඳහා ශක්තිමත් නායකත්වයක් ගොඩනැංවීම වෙනුවෙන් උපායමාර්ගික සැලසුම්කරණය පිළීබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ට මෙම වැඩසටහනේදී විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී. එසේම නියමු ව්‍යාපෘතිය මගින් සවිබල ගන්වන ලද ව්‍යවසායකයින්ගේ කර්මාන්ත ශාලාවල ක්ෂේත්‍ර නිරීක්ෂණ අත්දැකීම්ද මෙම සම්බන්ධිකරණ නිලධාරීන්ට මෙම පුහුණු වැඩසටහනේදී ලබාගත හැකි විය.