රාජ්‍ය, පාසල්, නිෂ්පාදන හා සේවා අංශයන්හි විශිෂ්ටත්වය අගයමින් “ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානය 2025/2026”  නොවැම්බර් 8 දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව තුළ ඵලදායිතා සංස්කෘතියක් ගොඩනැඟීම අරමුණුකරගනිමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, රජයේ Clean Sri Lanka ජාතික වැඩසටහන සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය තුළින් ඵලදායිතාව, නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණුව සම්බන්ධයෙන් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ ආයතන 1,669ක් ඇගයීමට ලක්කරන ලදී.

මෙම‍ තරඟාවලිය තුළ කළමනාකරණය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ඵලදායිතාව, විනිවිදභාවය, වගවීම සහ ආචාරධාර්මික පාලනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතර ආසියානු ඵලදායිතා සංවිධානය (APO) විසින් පුහුණු කරන ලද පලපුරුදු විනිශ්චය මණ්ඩලයක් තරඟාවලියේ විනිශ්චය කටයුතු සඳහා සහභාගිවීම කැපී පෙනුනි.

මෙවර සම්මාන ප්‍රදානයේදී රන් සම්මාන 06 ක්, පළමු ස්ථානය 13 ක්, දෙවන ස්ථානය 98 ක්, තුන්වන ස්ථානය 330 ක්, විශේෂ සම්මාන 570 ක් හා කුසලතා සහතිකපත් 652ක් පිරිනමන ලදී.