ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) එළිදක්වයි.
ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී.
2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යෝජනා යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්රතිඵලයකි.
රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයෙන් මෙම සැලැස්ම සකස් වී ඇති අතර මෙම සංවර්ධන සැලැස්ම තුළ අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගෙන තිබෙයි.
රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම සැලැස්ම සකස් කර ඇත. ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වෙළඳපල සඳහා සේවය සපයන තරඟකාරී, සැපයුම් දාම (Logistics) සහ දැනුම පදනම් කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රධාන දැක්මයි.
මේ හරහා නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් අපේක්ෂා කරන අතර මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.