Hon. Minister Wimal Weerawansa meets Iran Deputy Industry Minister

“ජාත්‍යන්තර අභියෝග හමුවේ සැමවිට දිගු කළ මිත්‍රත්වයේ  හස්තයට කෘතවේදිත්වය පළ කරනවා. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ඉරානය ඉදිරිපත් කරන ආයෝජන යෝජනා සතුටින් බාරගන්නවා”
– ඉරාන කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය හමුවේ ඇමති විමල් කියයි
 
දිගුකාලීන මිත්‍රයෙකු ලෙස, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අභියෝග එළැඹි සෑමවිටම මිත්‍රත්වයේ හස්තය දිගු කළ ඉරානයට මෙරට ජනතාවගේ කෘතවේදීත්වය පළ කරන බවත් එසේම ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත සඳහා අගය කිරීමේ ව්‍යාපෘති ඇතුළු ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා ඉරානය ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා කඩිනමින් හා කාර්යක්ෂමව ඉදිරි පියවර ගැනීමට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
 
ඊයේ (21) සවස කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී 
ඉරාන කර්මාන්ත සහ පතල් නියෝජ්‍ය අමාත්‍ය, ඉරාන වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සභාපති Alireza Peymanpak මහතා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ජාවේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
 
මෙහිදී දෙරටේ අමාත්‍යවරුන් අතර මෙරට ඛනිජ සම්පත් ආශ්‍රිතව අගය එකතු කිරීමේ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, දෙරට අතර කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන සහ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම හා මෙරට නව කර්මාන්ත ව්‍යාපෘති සඳහා ඉරානයේ සහාය ලබාගැනීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා සිදු විය. මෙරට කර්මාන්තයන්ගේ නිමි භාණ්ඩ ඉරානය වෙත අපනයනය කිරීම සහ දෙරට අතර වෙළද සබඳතා තරකර ගැනීම පිළිබදව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
 
ඉරාන දූත කණ්ඩායම ඇමතූ කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉරානය දිර්ඝකාලීන මිත්‍රත්වයෙන් කටයුතු කළ රටවල් දෙකක් වන අතර අප යම් යම් අභියෝගවලට මුහුණදුන් අවස්ථාවලදී ඉරානය සෑමවිටම විශාල සහයෝගයක් ලබාදුන් බව ය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අභියෝගයන්ට මුහුණ දුන් සියලු අවස්ථාවලදී ඉරානය ශ්‍රී ලංකාවට දිගු කළ මිත්‍රත්වයේ හස්තයට කෘතවේදීත්වය පළ කරන බව කී කර්මාන්ත අමාත්‍යවරයා එබැවින් ඉරානය, මෙරට  කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන යෝජනා ඉතා විශ්වාසයෙන් සහ කැමැත්තෙන් භාරගන්නේ යැයි ද වැඩිදුරටත් කියා සිටියේය. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ ඉරානය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකිරීමට නියමිත යෝජනා ක්‍රියාත්මක කිරීමට ද උපරිම සහාය ලබාදීමට මෙරට කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් තමන් සුදානම් බව ය. කර්මාන්ත අමාත්‍යවරයාට ඉරානයේ කර්මාන්තයන් පිළිබද නිරීක්ෂණයට තම රටට පැමිණෙන ලෙස එම දූත පිරිස ආරාධනා කළ අතර එම ආරාධනය ගෞරවයෙන් පිළිගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය. මෙම සාකච්ජාව ඉදිරියට ගෙන යමින් ඉදිරි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට තමන් ආරාධනා කරන බව ද  විමල් වීරවංශ අමාත්‍යවරයා දූත පිරිස අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙම අවස්ථාවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හාජි හොසේනි, දකුණු ආසියානු අංශයේ අධ්‍යක්ෂ අහමඩ් සදේගි, ඉරාන තේ ආනයන සංගමයේ  Mojtaba Azadmanesh, Hossein Ghaheri, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති එච්. ඊ. හෂේම් අෂ්ජාසාදේ  සහ ආර්ථික උපදේශක Soheil Kheiri, මෙරට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.