කර්මාන්ත අමාත්‍යාංශයෙන් මෝටර් වාහන නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධියට වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවේ මෝටර් වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන ලබාදීමේ වැඩමුළුවක් පෙබරවාරි 16  දින කොළඹ මරිනෝ බීච් හෝටලයේදී පැවැත්වින. මෙම ක්ෂේත්‍රයේ නියැලෙන කර්මාන්තකරුවන්ට මෙම ක්ෂේත්‍රය හා සම්බන්දව රජය අනුගමනය කරන ක්‍රමවේද හා තම නිෂ්පාදන සඳහා රජයෙන් ලබාගත හැකි සහය පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ විය. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා මෝටර් වාහන නිෂ්පාදකයින්, මෝටර් වාහන එකලස් කරන්නන් හා මෝටර් වාහන උපාංග නිෂ්පාදකයින් 100ට අධික පිරිසක් සහභාගි වූහ.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මොරටුව විශ්ව විද්‍යාලය හා කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතන වල සහයෝගීතාවයෙන් පැවැත්විණ.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇති අංශ 7 අතරින් මෝටර් වාහන කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් ගනියි. එම කර්මාන්ත අංශය දියුණු කිරීමේ අරමුණින් 2021 වසරේදී කර්මාන්ත අමාත්‍යාංශය , පුද්ගලික අංශයේද සහයෝගය ඇතිව මෝටර් වාහන කර්මාන්තය සදහා සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වාදීමෙන් පසු එම කර්මාන්ත අංශයයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය.

2021 වර්ශය වන විට ලංකාවේ ක්‍රියාත්මක වූ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ප්‍රමාණය 4 ක් වු අතර 2021 දී සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හදුන්වාදීමෙන් පසුව ආයතන 32 ක් වාහන එකලස් කිරීම සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගෙන ඇත. ඉන් ආයතන 14 ක් මේ වනවිට වාණිජමය වශයෙන් තම නිෂ්පාදන කටයුතු සිදුකරයි. එසේම වාහන උපාංග නිෂ්පාදකයින් 90 ක්  වාහන උපාංග නිෂ්පාදනය සදහා ලියාපදිංචිය ලබාගෙන ඇති අතර ඉන් 58 දෙනෙක් නිෂ්පාදන වල නියැලී සිටියි. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙයි.  මේ අනුව ඉදිරි වසර දෙක තුළ මෙම කර්මාන්තය අති විශාල දියුණුවක් ලබනු ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

වාර්ෂිකව රුපියල් බිලියන 1850ක් වන ලංකාවේ වාහන ආනයන වියදම 30% කින් ඉතිරි කරදීමත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය හරහා ලබාදීමත් කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණු අතර වෙයි. එසේම විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි කර්මාන්තක් ලෙසද මෙම අංශය වැදගත් වෙයි. මෝටර් වාහන නිෂ්පාදනයේදී රෝද දෙකේ වාහන එකලස් කිරීමේදී දේශීය අගය එකතු කිරීම 25% කට වඩා වැඩි ප්‍රමාණයක්ද රෝද හතරේ වාහන එකලස් කිරීමේදී 20% වඩා වැඩි දේශීය අගය එකතු කිරීමක් හා උපාංග නිෂ්පාදනයේදී 50% වඩා වැඩි දේශීය අගය එකතු කිරීමක් සිදුකළ යුතු අතර එහිදී එම නිෂ්පාදන සඳහා 70% බදු සඳහන ලබාදීමට රජය ක්‍රියාකරයි.

මෙම වැඩමුළුවේදි දේශීය අගය එකතු කිරීම් වැඩි කර ගැනීම, ආනයන අපනයන බලපත්‍ර ලබාගැනීම, බන්දිත ගුදම් පවත්වා ගැනීම, පරිසර බලපත්‍ර ඇතුළු විවිධ බලපත්‍ර ලබාගැනීම පිළිබඳව හා එම ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, මෝටර් වාහන ආංශික උපදේශන සභාවේ නිලධාරීන්, වාහන නිෂ්පාදකයින්, වාහන එකලස්කරන්නන්, වාහන උපාංග නිෂ්පාදකයන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.