ශ්‍රී ලංකාවේ තිරසර කාර්මික වර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවධාරණය කරමින් සම්පත් කාර්යක්ෂමතාව සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ 4 වැනි ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව අවසන් විය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සමඟ එක්ව සංවිධානය කළ මෙම සමුළුවේදී කාර්මික තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා සම්පත් කාර්යක්ෂමතාව, බලශක්ති පරිවර්තනය සහ චක්‍රීය ආර්ථික සංකල්පය පිළිබඳව අවධානය යොමු කරන ලදී. එසේම තිරසර කාර්මික වර්ධනය සඳහා ප්‍රායෝගික ප්‍රවේශයන්, සම්පත් ඵලදායිතාව ඉහළ නැංවීම, අවම කාබන් විමෝචන තාක්ෂණයන් භාවිතය සහ චක්‍රීය ව්‍යාපාරික භාවිතයන් තුළින් ව්‍යාපාරවල තරගකාරීත්වය සහ අභියෝග වලට මුහුණදීමේ හැකියාව ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳවද විමසා බැලිණි. එසේම කාර්මික සම්පත් කාර්යක්ෂමතාව, ද්‍රව්‍ය නැවත ප්‍රයෝජනයට ගැනීම, හරිත වෙළඳපළ, බලශක්ති කළමනාකරණය සහ ආයතනික තිරසරභාවය ඇතුළු විෂයයන් රැසක්ද මෙම සමුළුව තුළින් ආවරණය කරන ලදී.

“තිරසරභාවය පිළිබඳ කැපවීම්වල සිට චක්‍රීය තරගකාරීත්වය දක්වා කර්මාන්ත සඳහා මීළඟ ඉදිරි පියවර” යන මැයෙන් මෙවර සමුළුවේ ප්‍රධාන දේශණය සිදුකරමින් CII–හරිත ව්‍යාපාර මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සහ ගෝලීය පාරිසරික ලේබල්කරණ ජාලයේ (GEN) හිටපු සභාපති කේ. එස්. වෙන්කටගිරි මහතා, තිරසරභාවය වෙනුවෙන් වූ කැපවීම් සහ කාර්මික තරගකාරීත්වය අතර සම්බන්ධතාව පිළිබඳව කරුණු දක්වන ලදී.

මෙවර සමුළුවේදී “තිරසර වර්ධනය සඳහා සම්පත් කාර්යක්ෂමතාව”හා “තිරසර සංවර්ධනය සඳහා චක්‍රීය ආර්ථික ප්‍රවේශයන්”යන මැයෙන් විද්වත් සැසි දෙකක් පැවැත්වූ අතර එම සැසි මගින් සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම තුළින් ව්‍යාපාරික කාර්යසාධනය ඉහළ නැංවීම, කර්මාන්ත උද්‍යාන සහ කර්මාන්ත අතර සම්පත් හුවමාරුව යන අංශ පිළීබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කලේය.

මෙහිදී ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් GEN Awards 2026 සහතික ප්‍රදානය කිරීමද සිදුවිය.