ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ක්ෂේත්රයට NVQ වරම්…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව මගින් පැවැත්වූ “බතික් නිර්මාණ ශිල්පී (NVQ – 3 ) බතික් කර්මාන්ත පුහුණු පාඨමාලාව” සහ “රතු මැටි ආශ්රිත කලා හා නිර්මාණවේදී එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාව” අවසන් කළ ශිල්පීන් වෙත අදාළ සහතික පිරිනැමීම පසුගියදා (27 දා) බත්තරමුල්ල ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරි (CETRAC) ශ්‍රවණාගරයේ දී පැවැත්වින.
බතික් කර්මාන්ත ක්ෂේත්රයේ මේ වනවිට පවතින අවිධිමත් පුහුණු ක්‍රමවේද වෙනුවට තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ විධිමත් හා ප්‍රමිතිගත නිපුණතා සම්මත අනුව යමින් “බතික් නිර්මාණ ශිල්පී (NVQ – 3 ) බතික් කර්මාන්ත පුහුණු පාඨමාලාව” සාර්ථකව අවසන් කළ ශිල්පීන් 32 දෙනෙකු සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධ වෙමින් විධිමත් විෂය නිර්දේශයක් ඔස්සේ වරාගොඩ සෙරමික් පුහුණු මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක කළ “රතු මැටි ආශ්රිත කලා හා නිර්මාණවේදී එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාව” අවසන් කළ ශිල්පීන් 9 දෙනෙකු හට මෙලෙස සහතික පිරිනමන ලදී.
ජාත්‍යන්තරව පිළිගන්නා නිපුණතාවයෙන් යුතු හස්ත කර්මාන්ත ශිල්පීන් බවට තහවුරු කරමින් මෙලෙස ශිල්පීන්ට ජාතික වෘත්තීය සුදුසුකම් ලබාදීම ලංකාවේ සමස්ථ හස්ත කර්මාන්ත ක්ෂේත්රයටම ඉතා වැදගත් අවස්ථාවක් වෙයි.
මෙහිදී අදහස් දක්වමින් ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ, මෙලෙස ලබාගන්නා වෘත්තීය සුදුසුකම ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට අන්තර්ජාතික වෙළඳපළ වෙත පිවිසීමටත් එහි ස්ථාවරබවට පත්වීමටත් මහත් පිටුවහලක් වනු ඇති බවයි. එසේම නිර්මාණාත්මක කර්මාන්තයක් වන මෙම කර්මාන්තයේ වටිනාකම මුදලින් ගණණය කළ නොහැකි බවත් සන්නාම ගොඩනඟාගැනීම මත මෙම කර්මාන්තයේ නිෂ්පාදන වලට අතිවීශාල මිලක් ලබාගත හැකිවන බවද පැවසුවාය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුසන්ත දොඩාවත්ත, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, කැළණිය විශ්ව විද්‍යාලයයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. නිලන්ත රොෂාන් පෙරේරා , කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සෙරමික් අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ලලිත් ලංසකාර , සෙරමික් අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය රංජිත් වීරසිංහ, ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ආනන්ද ජයසිංහ ඇතුළු ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, සහතිකපත්රලාභී ශිල්පීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.