පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි – කර්මාන්ත ඇමති

නිදහසෙන් පසු ගෙවුණු කාලය තුළ පැවති සියළු රජයන් අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , සමාජ යටිතල පහසුකම් සංවර්ධනය ආදි ක්ෂේත්‍ර වෙනුවෙන් රාජ්‍ය ආයෝජනය විශාල පරිමාණයෙන් සිදුකොට ඇතත් කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් සිදුකල ආයෝජනය ඉතා අඩු බවත්, හැත්තෑහතේ ආගමනය වූ විවෘත ආර්ථිකය මත එතෙක් රටතුළ ප්‍රවර්ධනය වෙමින් පැවති දේශීය කර්මාන්ත අපගමනයට ලක්වූ බවත් , එනිසා එම තත්වයනුත් අද පවතින ආර්ථික අර්බුදයට හේතු කාරක වන බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( නොවැම්බර් 3) සන්ධ්‍යාවේ කොළඹ ගලදාරි හෝටලයේදී පැවති
ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය ( Sri Lanka Institute of Packaging ) විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා ඇසුරුම් සම්මාන උළෙලට එක්වෙමිනි. ශ්‍රී ලංකා ඇසුරුම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරෙන මෙම උළෙල සංවිධානය කල ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය 1967 දී පිහිටුවා ඇති අතර එය ආසියානු ඇසුරුම්කරණ සම්මේලනයේ සහ ලෝක ඇසුරුම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ද වෙයි.

මෙරට ඇසුරුම් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ඇසුරුම් ප්‍රදර්ශන සංවිධානය කිරීම, සම්මන්ත්‍රණ පැවැත්වීම, වැඩමුළු පැවැත්වීම, විදේශීය චාරිකා, උපදේශන සැපයීම ආදි කාර්යන් රැසක් සිදුකරන ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය 1987 වසරේ 17 වැනි ආසියානු ඇසුරුම්කරණ සම්මේලනය සහ Lanka pack 87 ඇසුරුම්කරණ ප්‍රදර්ශනයට සමගාමීව මෙම ශ්‍රී ලංකා ඇසුරුම් සම්මාන සම්මාන උළෙල මෙරට තුළ ආරම්භ කොට තිබෙයි. පසුව තම අධ්‍යාපන ආයතනවල සහ විශ්වවිද්‍යාලවල ඇසුරුම්කරන නිර්මාණ ක්‍රියාකාරකම්වල යෙදී සිටින සිසුන් ඇගයීම සඳහාද 2001 වසරේ සිට ඇසුරුම්කරණයේ විශිෂ්ටත්වය සඳහා වූ ශිෂ්‍ය තරගයක්ද ආරම්භ කොට තිබෙයි.
ගෙවුණු වසර වල ශ්‍රී ලංකා ඇසුරුම් සම්මානලාභීන් විවිධ රටවල වාර්ෂිකව පවත්වනු ලබන කීර්තිමත් Asia Star සහ World Star තරඟ සඳහා ජයග්‍රාහී ප්‍රවේශයන් ලබා ගැනීමටත් සමත්ව තිබෙයි.

මෙවර පැවැත්වූ සම්මාන උළෙලේදී කෝවිඩ්-19 වසංගත තත්වය නිසා පැවැත්වීමට නොහැකි වූ 2020 , 2021 වසර ඇතුළුව 2022 යන වසර ත්‍රිත්වය සදහාම ඇසුරුම්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ලෝකඩ , රිදී සහ රන් සම්මාන ප්‍රදානය කෙරිණි. එහිදී නිර්මාණාත්මක , පරිසර හිතකාමී ආදි අංශ ගනනාවක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරුණු අතර මෙරට ඇසුරුම්කරන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන රැසක් මෙන්ම රාජ්‍ය ආයතනයක් ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලයේද එහිදී සම්මාන හිමිකර ගැනුනි. Asia Star සහ World Star ජයග්‍රාහකයින් සදහා සම්මාන ප්‍රදානය අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

ශ්‍රී ලාංකේය ඇසුරුම් කර්මාන්තයේ ඉතා සජීවී බව සහ රටෙහි කාර්මික සංවර්ධනයට එය සහාය වීම සඳහා සූදානම්ව , සන්නද්ධව පවතින බව මනාව පෙන්නුම් කළ මෙම සම්මාන උළෙලේදී වැඩිදුරටත් අදහස් එක්කල අමාත්‍යවරයා රටක කර්මාන්ත සංවර්ධනයට වෘත්තීයාභිමුඛ අධ්‍යාපනයක වැදගත්කම පෙන්වා දුන් අතර එහිදී නව ලෝකය හා තාක්ෂණිකව යාවත්කාලීන වෙමින් කර්මාන්ත ආශ්‍රිත සියළු ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය රටේ ආර්ථික ප්‍රගමනයට ඇති අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය සභාපති දේශමාන්‍ය රොහාන් විජේසිංහ , කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , අමාත්‍යංශ නිළධාරින් , ඇසුරුම් ක්ෂේත්‍රයේ ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.