ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් වැඩිවශයෙන් පීඩාවට පත්වන්නේ කාන්තාවන් හා ළමුන්.
– ESCAP දකුණු හා නිරිතදිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා

පවතින තත්වය මඟහරවා ගැනීමට ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපරිම සහය දෙනවා.
– කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ

ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින දැඩි ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ කාන්තාවන් හා ළමයින් වැඩිවශයෙන් පීඩාවට පත්වන ආකාරය තමන් සුපරික්ෂාවට ලක්කළ බවත් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තුළින් පවුල් පරිසරය තුළ කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බවත් ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) දකුණු හා නිරිතදිග ආසියා කාර්යාල ප්‍රධානී මිකිකො ටනාකා (Ms. Mikiko Tanaka) මහත්මිය පැවසුවාය.

ඇය මෙලෙස පැවසුවේ අද (02 දා) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (ESCAP) විසින් මේ වන විටත් ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනයට ප්‍රවර්ධනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකර ඇති බවත් ඉදිරියේදීද තම සංවිධානයේ අඛන්ඩ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවද මිකිකො ටනාකා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය. විශේෂයෙන්ම පවතින වත්මන් ආර්ථික තත්වය හමුවේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.

මෙහිදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කලේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සම්භන්ධිකරණය කරමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විටත් තම අමාත්‍යාංශය හා රජය කටයුතු කරන බවයි. ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවත් ග්‍රාමීය මට්ටමින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී ඔවුන් නගා සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

තවද ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පරිසර හිතකාමී ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස්කරන ලද ඇසුරුම් නිෂ්පාදනය හා භාවිතයට යොමු වීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා තල්, පොල්, උණ, මැටි වැනි අමුද්‍රව්‍ය වර්ග 62 ක් ලංකාවේ ඇති බවත් පැවසීය. එවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන ඇසුරුම් නිෂ්පාදනය ප්‍රවර්ධනය තුලින් නව රැකියා අවස්ථා රැසක් ඇතිකළ හැකි බවත් පොලිතීන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට මෙය මහඟු පිටුවහලක් බවත් පැවසූ අමාත්‍යවරයා මේ සඳහා ආසියා හා පැසිපික් කලාප සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) සහය බලාපොරොත්තු වන බවද පැවසීය.

මේ වන විට රටවල් 20 කට අධික ප්‍රමාණයක ව්‍යවසාය සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු සඳහා තම සංවිධානය සහය දක්වන බවත් ලංකාවේ ව්‍යවසාය ප්‍රවර්ධනයට මෙන්ම කර්මාන්තයක් ලෙස පරිසර හිතකාමී ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ඇසුරුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබාදෙන බවත් මිකිකො ටනාකා (Ms. Mikiko Tanaka) මහත්මිය පැවසුවාය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහපොල, ලක්සල සභාපති ඩෙන්සිල් පෙරේරා ඇතුඵ නිළධාරින් පිරිසක් සහභාගි වූහ.