පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළිත් කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – කර්මාන්ත ඇමති

උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දැනට අකර්මණ්‍යව පවතින පරන්තන් රසායනික කම්හල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා එක්විය.

1954 වර්ෂයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙසින් ආරම්භ කොට ඇති මෙම පරන්තන් කර්මාන්ත ශාලාවෙන් එකල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස ලුණු යොදා ගනිමින් දියර ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ ෆෙරික් ක්ලෝරයිඩ් නිෂ්පාදනය කොට තිබෙයි. යුධමය වාතාවරණය නිසා 1985 න් පසු නිෂ්පාදන කටයුතු ඇනහිට තිබෙන අතර මේ වනවිට දේශීය කර්මාන්ත සදහා අවශ්‍ය ක්ලෝරීන් , කෝස්ටික් සෝඩා සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආනයනය කොට බෙදා හැරීම සමාගම මගින් සිදුකෙරෙයි. එයට අමතරව පරන්තන් රසායනික සමාගම විසින් අගය එකතු කිරීමේ ක්‍රියාවලියක් හරහා බ්ලීචින් දියරය , කෝස්ටික් දියරය නිෂ්පාදනය කරන අතර ක්ලෝරීන් පාරිභෝජනය කරන්නන් සදහා හදිසි ආරක්ෂිත උපකරණ කට්ටල සැකසුම් ක්‍රියාවලියේද නිරතව සිටියි.

නිරීක්ෂණ චාරිකාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ අපනයනය වැඩිකොට ආනයනය අඩුකොට , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකිරීම රජයේ ප්‍රතිපත්තිය බැවින් පරන්තන් රසායනික කම්හල නැවත ආරම්භ කිරීමට දැනට සිදුකරමින් තිබෙන ශක්‍යතා අධ්‍යන ,සැලසුම් , ව්‍යාපාරික සංවර්ධන හා  ප්‍රසම්පාදන කාර්යන් සියල්ල කඩිනම් කරමින් ඉක්මණින්ම එම කර්මාන්තයේ ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර දෙන බවයි. එමෙන්ම පරන්තන් රසායනික කර්මාන්ත පුරය කඩිනමින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ වනවිට පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව තුළ කෝස්ටික් සෝඩා , ක්ලෝරීන් නිෂ්පාදනයන් ආරම්භ කිරීමටත් , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය ආරම්භ කිරීමටත් මූලිකව කටයුතු කෙරෙයි. එමෙන්ම වැසිකිළි පිරිසිදුකාරක , අත් සෝදන දියර , පිගන් සේදුම්කාරක , වාහන සේදුම්කාරක ආදි ගෘහාශ්‍රිතව භාවිතාවන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයටත් , යූරියා පොහොර නිෂ්පාදනයටත් , සල්ෆියුරික් අම්ලය , නයිය්‍රික් අම්ලය , සෝඩියම් කාබනේට් නිෂ්පාදනයටත් අදාළ ශක්‍යතා අධ්‍යන අවසන් කොට , සැලසුම් හා ව්‍යාපාර සංවර්ධන කාර්යන් සිදුකරමින් සිටියි. ඉක්මණින්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියන් ආරම්භ කිරීමටත් නියමිත වෙයි.

මෙම පරන්තන් රසායනික කම්හල් පරිශ්‍රය අක්කර 202 කින් යුක්ත වන අතර කම්හල් පරිශ්‍රයට යොදා ගැනෙන අක්කර 25 ට අමතරව ඉතුරු ඉඩ ප්‍රමාණය රසායනික කර්මාන්ත ශාලාවවලටම වෙන්වූ කර්මාන්ත පුරයක් ස්ථාපනය කිරීමටත් නියමිත වෙයි. එම රසායනික කර්මාන්ත පුරය තුළ දැනට රටපුරා වෙනත් ප්‍රදේශවල පාරිසරික හා සමාජමය ගැටළු මතුව ඇති කර්මාන්ත ශාලා ඒ තැන්වලින් ඉවත් කොට ගෙන නැවත ස්ථාපනය කිරීමටත් , අලුතෙන්ම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටත් ඉඩ ප්‍රස්ථාව හිමිවෙයි.  

මෙම අවස්ථාවට පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති සුදේෂ් නන්දසිරි , අමාත්‍යංශ නිළධාරින් ඇතුළු රැසක් එක්වූහ.