මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවයි.

රත්නපුර පතල් කර්මාන්ත කරුවන්ගේ සහ මැණික් ව්‍යාපාරිකයන්ගේ මහා සංගමය සහ වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා රත්නපුර නගරයේදී පැවත්විණි. 
එහිදී දැනට රටපුරා කළමනාකරණයකින් යුතුව බෙදාහැරෙන ඉන්ධන, මැණික් කර්මාන්තයේ නියැලෙන රත්නපුර දිස්ත්‍රික්කයේ බැකෝ යොදාගෙන කෙරෙන පතල් 250 ක ප්‍රමාණය ඇතුළුව සමස්ථ පතල් 4000 කට ආසන්න ප්‍රමාණය වෙනුවෙන් ලංගම ඩිපෝ හරහා ක්‍රමවත්ව ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනුනි. 
එමෙන්ම QR කේතය හරහා මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන අනෙකුත් ඉන්ධන පිරවුම්හල් වෙතින්ද ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියෙදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා එක්ව ගොඩනැංවීම වෙනුවෙන් අවධානය යොමු කරන බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. 
එයට අමතරව මැණික් කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින ගැටළු මෙන්ම දීර්ඝ ඉතිහාසයක් ඇති කර්මාන්තයක් ලෙසින් ක්‍රියාත්මක මැණික් කර්මාන්තය මුල්කොට ගෙන රටේ අපනයන ආර්ථිකය වඩාත් බලගන්වන ආකාරය පිළිබඳවත්, සාධනීය සාකච්ඡාවක්ද එහිදී සිදුකෙරිණි.
එම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ , ශ්‍රී ලංකා ගමනාගමන් මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරින් පිරිසක්ද එක්විණි.